
බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක කැරම් ශූර ඉන්දීය ක්රීඩක යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට ශ්රී ලංකා ක්රීඩක චමිල් කුරේ සමත්විය. කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ලෝක ශූර ඉන්දියාව සහ ශ්රී ලංකාව සුදුසුකම් ලබාගත් අතර එහිදී පර්දේශී සහ චමිල් අතර පළමු කේවළ ඉසව්ව පැවැත්විණ.
එහිදී චමිල් 22/20 ක් සහ 19/10 ක් ලෙස පර්දේශීව පරාජය කළේය. 2008 වසරෙන් පසුව ඉන්දියාව පරාජය කිරීමට තිබු හොඳම අවස්ථාව ශ්රී ලංකාවට අහිමි කරමින් නිශාන්ත ප්රනාන්දු තරග වට තුනක තියුණු තරගයකින් පසුව (11/25, 25/21, 25/0) ඉන්දියාවේ මදෝප් සිං හමුවේ පරාජය විය.
නිශාන්ත ප්රනාන්දු, මෙම වසරේ පැවැති ජාතික කැරම් තරගාවලියේදී චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත් ක්රීඩකයාය.
චමිල් කුරේ ජාතික ශුරතාව 2011 වසර දක්වා පිට පිටම අට වරක් දිනා ගනිමින් ජාතික තරගාවලියේදී වැඩිම කැරම් ශූරතා ගණනක් දිනාගත් ක්රීඩකයා ලෙස වාර්තාවක් ද පිහිටුවීය. චමිල් නැවත වරක් දස්කම් අතරට පැමිණීම මෙම වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා ශ්රී ලංකාවේදී ආරම්භවන ලෝක කැරම් ශූරතාවලියට හොඳ රැකුලක්වේ.
එම්. ෂෙරිෆ්ඞීන්ගේ පරාජයත් සමගින් ශ්රී ලංකාව තරග 2/0 ක පරාජයක් ලබා තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය. කෙසේ වෙතත් ලෝක කැරම් ශුර ඉන්දියාව මෙවරද ඉසව් හතේම ශුරතා දිනා ගත්තේය. කාන්තා කණ්ඩායම් ඉසව්වේ අනුශුරතාව සුපුරුදු ලෙස ශ්රී ලංකා ක්රීඩිකාවෝ දිනා ගත්හ.
කේවළ තරගාවලියේදී චමිල් කුරේ සහ නිශාන්ත ප්රනාන්දු පිරිමි යුගල ඉසව්වේ අනුශූරතාව දිනා ගැනීමට සමත්වුහ. ශ්රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, සහ මාලදිවයින යන රටවල් පහකින් ක්රීඩක ක්රීඩිකාවෝ තරගාවලියට සහභාගිවුහ.
source : www.Lankadeepa.lk
0 comments:
Post a Comment